Pages

4/16/13

ඉරානයේ පාකිස්ථාන දේශසීමාවේ භූ කම්පනයක්: 45ක් මරුට

ඉරානයේ පකිස්ථාන දේශසීමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, ඉන් ඉරානයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉරාන රාජ්‍ය රූපවාහිනී සේවය නිවේදනය කළ බවය.
මේ අතර, මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පකිස්ථාන මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

ඉරාන රාජ්‍ය රූපවාහිනී සේවය උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, භූ කම්පනයෙන් පසුව ඉරානයේ සිස්ටන් ප්‍රදේශයේ විදුලි බලය සහ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවය.

මෙම භූ කම්පනය මැග්නිටියුඩ් 7.8ක ප්‍රබලත්වයකින් යුතු වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

එම ආයතනය පවසන්නේ, පාකිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි කෑෂ් නගරයට කිලෝමීටර් 86ක් දුරින් එම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බවය.

මෙම භූ කම්පනය ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයට සහ නවදිල්ලි නගරයට මෙන්ම ඩුබායි සහ බහරේන්හි ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇතැයි එම රටවල මාධ්‍ය වාර්තා කර තිබේ.

No comments:

Post a Comment